Thursday, July 30, 2015

ඔබේ නමින් සෑය බඳිමි - Obe Namin Seya Bandimi


මහගම සේකරයන් විසින් රචනා කරන ලද, පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කර විශිෂ්ඨ ලෙස ගායනා කරන ලද මෙම ගීතය සිංහල බැති ගී ගණයට අයත් ගීයකි. මෙම ගීතයේ කතා පුවත අතීත රජ දවස සිදුවූ එක්තරා සිදුවීමක් පිළිබඳව රසවත් ලෙස කියාපායි. 

මා අසා ඇති අයුරින්, ඒ කතා පුවත මෙසේය.
දුටුගැමුණු රජතුමා විසින් සාදවා නිමකරවන ලද රුවන්මැලි මහ සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ඉදිකිරීමට පෙර එය ඉදිකිරීම සඳහා සුදුසු බිමක් තේරීමෙන් පසු එම බිම් පෙදෙස දාගැබ ඉදිකිරීමට සුදුසු ලෙස සැකසීමේදී එහි වූ එක්තරා රන් තෙළඹු ගසක් ඉවත් කිරීමටද සිදුවිය. මෙම ගස ඉවත් කල යුතු වූ නමුත් එය පහසු කටයුත්තක්නම් වූයේ නැත. මේ පිළිබඳව සොයා බැලීමේදී රජතුමාට දැනගැනීමට ලැබුණේ එම ගසට අරක්ගත් ස්වර්ණමාලී නම් දේවතාවියක් සිටිනා බවත් එම දේවතාවිය ඇයගේ විමානයකොට ගත් මෙම රන්තෙළඹු ගසෙන් ඉවත්ව යෑමට අකමැති බවත්ය. එහිදී ගසෙන් ඉවත්ව යන ලෙස දුටුගැමුණු රජු විසින් ස්වර්ණමාලී නම් දේවතාවියගෙන් ඉල්ලාසිටි අයුරු ඉතාමත් රසවත් අයුරින් මෙම ගීතයෙන් ප්‍රකාශිත වේ.
පැරණි කතාව ඉතිහාසයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

Friday, July 24, 2015

ආදරයේ උල්පත වූ අම්මා - Adaraye Ulpatha Wu Amma


මගේ පළමු දිගහැරුම මම විශිෂ්ඨතම ගීයකින් ආරම්භ කරන්නම්. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ගී පද රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ලද මෙම ගීතය මවුගුණ ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය ඒ වගේම විශාල අර්ථයක් ඇති ගීයක් යැයි සඳහන් කිරීම කළයුතුමයි.

වරක් සරල ගී වැඩසටහනකට අවශ්‍ය ගීයක් නිර්මාණය කරගැනීම සඳහා වික්ටර් රත්නායක මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මුණගැසීමට පැමිණි විටෙක, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යම්කිසි කාර්‍යයක් සඳහා පිටතට යාමට සූදානමින් සිටියේය. තමා පැමිණි කාරණාව සඳහන් කරත් ප්‍රේමකීර්ති මහතා වික්ටර් මහතාටද තමන් සමග පැමිණෙන ලෙස ආරධනා කර ඇත. කෙසේ නමුත් මොවුන් දෙදෙනා අවසානයේ පැමිණියේ රෝගාතුරව සිටින ප්‍රේමකීර්ති මහතාගේ මව බැලීමටයි. මවගේ සුවදුක් විමසා නැවත රෝහලේ සිට පැමිණිමේදී ප්‍රේමකීර්ති මහතා විසින් වික්ටර් මහතාගෙන් යලිත් ආ කාරණාව විමසා ඇති අතර මේ ගීතයේ මුල් පද කිහිපය ඒ එන අතරමගදී රචනා කර ඇති බව පැවසේ.