Thursday, July 30, 2015

ඔබේ නමින් සෑය බඳිමි - Obe Namin Seya Bandimi


මහගම සේකරයන් විසින් රචනා කරන ලද, පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කර විශිෂ්ඨ ලෙස ගායනා කරන ලද මෙම ගීතය සිංහල බැති ගී ගණයට අයත් ගීයකි. මෙම ගීතයේ කතා පුවත අතීත රජ දවස සිදුවූ එක්තරා සිදුවීමක් පිළිබඳව රසවත් ලෙස කියාපායි. 

මා අසා ඇති අයුරින්, ඒ කතා පුවත මෙසේය.
දුටුගැමුණු රජතුමා විසින් සාදවා නිමකරවන ලද රුවන්මැලි මහ සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ඉදිකිරීමට පෙර එය ඉදිකිරීම සඳහා සුදුසු බිමක් තේරීමෙන් පසු එම බිම් පෙදෙස දාගැබ ඉදිකිරීමට සුදුසු ලෙස සැකසීමේදී එහි වූ එක්තරා රන් තෙළඹු ගසක් ඉවත් කිරීමටද සිදුවිය. මෙම ගස ඉවත් කල යුතු වූ නමුත් එය පහසු කටයුත්තක්නම් වූයේ නැත. මේ පිළිබඳව සොයා බැලීමේදී රජතුමාට දැනගැනීමට ලැබුණේ එම ගසට අරක්ගත් ස්වර්ණමාලී නම් දේවතාවියක් සිටිනා බවත් එම දේවතාවිය ඇයගේ විමානයකොට ගත් මෙම රන්තෙළඹු ගසෙන් ඉවත්ව යෑමට අකමැති බවත්ය. එහිදී ගසෙන් ඉවත්ව යන ලෙස දුටුගැමුණු රජු විසින් ස්වර්ණමාලී නම් දේවතාවියගෙන් ඉල්ලාසිටි අයුරු ඉතාමත් රසවත් අයුරින් මෙම ගීතයෙන් ප්‍රකාශිත වේ.
පැරණි කතාව ඉතිහාසයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

"මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.
එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.”

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

ඔබේ නමින්...//

ගායනය සහ සංගීතය : ඩබ්. ඩී. අමරදේව ශූරීන්
පද රචනය : මහගම සේකර


To Download the "Obe Namin Seya Bandimi" MP3 Song Click on the Following Links
Download Link

To Download the PDF or Word files of Lyrics Click on the Following Links
Download PDF file Link



No comments:

Post a Comment