Friday, July 24, 2015

ආදරයේ උල්පත වූ අම්මා - Adaraye Ulpatha Wu Amma


මගේ පළමු දිගහැරුම මම විශිෂ්ඨතම ගීයකින් ආරම්භ කරන්නම්. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ගී පද රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ලද මෙම ගීතය මවුගුණ ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය ඒ වගේම විශාල අර්ථයක් ඇති ගීයක් යැයි සඳහන් කිරීම කළයුතුමයි.

වරක් සරල ගී වැඩසටහනකට අවශ්‍ය ගීයක් නිර්මාණය කරගැනීම සඳහා වික්ටර් රත්නායක මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මුණගැසීමට පැමිණි විටෙක, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යම්කිසි කාර්‍යයක් සඳහා පිටතට යාමට සූදානමින් සිටියේය. තමා පැමිණි කාරණාව සඳහන් කරත් ප්‍රේමකීර්ති මහතා වික්ටර් මහතාටද තමන් සමග පැමිණෙන ලෙස ආරධනා කර ඇත. කෙසේ නමුත් මොවුන් දෙදෙනා අවසානයේ පැමිණියේ රෝගාතුරව සිටින ප්‍රේමකීර්ති මහතාගේ මව බැලීමටයි. මවගේ සුවදුක් විමසා නැවත රෝහලේ සිට පැමිණිමේදී ප්‍රේමකීර්ති මහතා විසින් වික්ටර් මහතාගෙන් යලිත් ආ කාරණාව විමසා ඇති අතර මේ ගීතයේ මුල් පද කිහිපය ඒ එන අතරමගදී රචනා කර ඇති බව පැවසේ.

කුඩා කල සිටම ප්‍රේමකීර්ති මහතාගේ මව ඔහු පිටුපසින් සෙවණැල්ලක් මෙන් සිට ඔහුට ඉමහත් ධෛරයක් ගෙන දුන් බව මා අසා ඇත. මුල් කාලයේ ගුවන් විදුලි වැඩසටහන් වලට පවා ප්‍රේමකීර්ති පැමිණ ඇත්තේ ඔහුගේ මව සමගයි. විවිධ තේමාවන් යටතේ රචනය කළ ඔහුගේ ගී එවකට ඉතා ජනප්‍රිය විය. විවිධ මාතෘකා යටතේ කොපමණ ගී රචනා කලද, තවමත් තමා වෙනුවෙන් ගීයක් රචනා කළේ නැතිබව කියා, ප්‍රේමකීර්තිගේ මව විසින් වරෙක ඔහුහට සිහින් මැසිවිල්ලක්ද නගා ඇත.

කෙසේ නමුත් තමගේ මිතයාගෙන් හදිසියේ ලැබුණු ඉල්ලීමත්, මව පිළිබද ඔහුගේ සිතේ නළියමින් තිබූ හැඟීම් සමුදායත් සියල්ල මුසු කොට ප්‍රේමකීර්ති මහතා විසින් රචනා කරන ලද, වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කොට ගායනා කරන ලද මෙම ගීතය සැබැවින්ම අගනා නිර්මාණයකි.

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පණ ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//


ගායනය සහ සංගීතය • වික්ටර් රත්නායක මහතා
පද රචනය • ප්‍රේමකීර්ති ද අල්විස්

To Download the "Adaraye Ulpatha Wu Amma" MP3 Song Click on the Following Links
Download Link 01
Download Link 02

To Download the PDF or Word files of Lyrics Click on the Following Links
Download PDF file Link 01
Download PDF file Link 02
Download Word file



No comments:

Post a Comment