Tuesday, September 29, 2015

වැරදුණු තැන - Weradunu Thena


මෑත කාලයේ මට අසන්නට ලැබුණු තවත් එක් සිත් බැඳි ගීයක් අද මම ඉදිරිපත් කරන්නම්. මේ ගීතය නිර්මාණය කිරීමට සත්‍ය සිදුවීමක් පාදක නොවූවද, මෙම ගීතය නිර්මාණය කිරීමට මූලික වූ පුද්ගලයාගේ ජීවිතයට මෙම ගීතයේ කතා තේමාව පසුව සැබැවින් අත්විඳීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි.

ගීතය ගායනා කරන අනුෂ්ක, දිනක් ඔහුගේ මිතුරෙකුගේ සාදයක ගීතයක් ගායනා කරන අයුරු ඕෂද නම් තවත් සංගීතයට ලැදි පුද්ගලයෙකුගේ නෙත ගැටෙයි. ඒ සමගම ඕෂදගේ හිතේ ඇතිවන අදහස පසුව සාදය අතරතුරදී ඔහු අනුෂ්ක හමුවී පවසා ඇත. දෙවරක් නොසිතා අනුෂ්ක මේ අදහසට එකඟ වී ඇත්තේ ඔහුට ඔහු පිළිබඳවම පවතින ආත්ම විශ්වාසය නිසාය. ඒ අනුව ඕෂදගේ මිතුරකු වන මනුරංග විසින් මෙම ගීතයේ පද රචනාව සිදු කරන අතර ගීතය නිර්මාණය වන්නේ යුග ගීයක් ලෙසිනි.
ඕෂදගේ බිරිඳ එම ගීතයේ පද සඳහා ගැලපෙන කටහඬක් හිමි සහ ගායන හැකියාවක් ඇති අයෙකු බැවින් ගීතයට සරිලන්නාවූ කාන්තා කටහඬද වැඩි වෙහෙසක් නොයවාම සොයාගත හැකි විය. ඒ අනුව "වැරදුණු තැන" ගීතය ඕෂදගේ බිරිඳ සහ අනුෂ්කගේ කටහඬ ඇතිව පටිගත කර අවසන් විය. 
ගීතයට සරිලන රූප රචනාවක් පිළිබඳව ගීතයේ නිෂ්පාදක කණ්ඩායම විවිධ ආකාරයේ චිත්ත රූප මවමින් සිටින අතරතුර ඕෂද හට සිදුවූයේ කිසිලෙසකවත් නොසිතූ සිදුවීමකට මුහුණ දීමටය. ඕෂදගේම බිරිඳ, ගීතයට කටහඬින් දායක වූ ඇය, ගීතයේ අන්තර්ගත සත්‍ය ලොවට මැනවින් පසක් කරමින් වෙනත් අයකු හා සම්බන්ධයක් ඇති කරගෙන ඇත. 
අවසානයේ නොසිතූ ලෙස, අවාසනාවන්ත අයුරින් ඕෂද හට තුන්වැනියකු නිසා තම විවාහ ජීවිතය විනාශ වන අත්දැකීමට මුහුණ දීමට සිදුවී ඇත. ඒ අතර ගීතය ගායනා කල ඇය එම ගීතය මාධ්‍ය වෙත මුදාහැරීමටද විරුද්ධවී ඇත්තේ එය මාධ්‍යයට මුදාහැරියහොත් තමන් නීතිමය පියවර ගන්නා බව පවසමිනි.
ඒ අනුව අවසානයේ ළහිරු පෙරේරාගේ මිතුරියක් වන ටෙරීෂා මගින් කාන්තා කටහඬේ අඩුව පුරවා ගීතය නැවත පටිගත කර, සිදුවූ සත්‍ය සිදුවීමම රූපරචනාව සඳහා පාදකකොට ඉතා කළාත්මක අයුරින් නිර්මාණය කර අවසන් ගීතය මියුසික් වීඩියෝවක් ලෙස ඔබ වෙත ගෙන හැර දක්වා ඇත.

එම මියුසික් වීඩියෝව පටන් ගැන්මට මත්තෙන් ඕෂදගේ පින්තූරය යටින් එහි දිවෙන වචන පෙලක් මම ඔබ වෙත ගෙන හැර දක්වන්නම්.
"ලොව පවතින සියළු බැඳීම් අනිත්‍ය බව අසා ඇත. එහෙත් එම සත්‍යයට මෙතරම් ඉක්මනින් මුහුණ දීමට සිදුවෙතැයි නොසිතුවෙමි"

ඔබ හා ගිය නිසා... මට මාවම නැති වුණා...
තව යන්නට බැරි නිසා... නුඹ හැරදා මා ගියා...

තරු කැට පෙන්නලා... පෙම බිඳුවක් දුන් ඔයා...
සිත මගෙ අසනවා... කවුරුද නුඹ කියා...

කොහොමද කියලා අසනා විට මා නිහඬව ගොළු වෙනවා...
වැරදුන තැන් ගැන සිත රැවටුව මා දැන් දැන් දුක් වෙනවා...

කොහොමද කියලා ඇසුවත් මා දැන් උන් තැන මියැදෙනවා...
වැරදුන තැන් ගැන සිත සිත ඇවිදින් නුඹ ලඟ පරදිනවා...

පුදසුන් නැති නිසා... මල් කැටයම් මට එපා...
අපි ගිය දුර නිසා... මං සළකුණු නැති වුණා...

අපි අතරේ හිස් තබා... එහි මතකය ඇතිරුවා...
යළි එන්නැති නිසා... පසු නොබලා මා ගියා...

කොහොමද කියලා අසනා විට මා නිහඬව ගොළු වෙනවා...
වැරදුන තැන් ගැන සිත රැවටුව මා දැන් දැන් දුක් වෙනවා...

කොහොමද කියලා ඇසුවත් මා දැන් උන් තැන මියැදෙනවා...
වැරදුන තැන් ගැන සිත සිත ඇවිදින් නුඹ ලඟ පරදිනවා...

ගායනය : අනුෂ්ක උදාන ලියනගේ සමග ටෙරීෂා චතුරිකා
පද රදනය : මනුරංග විජේසේකර
සංගීතය : ළහිරු පෙරේරා සමග විරේෂ් කුරේ

To Download the "Weraduna Thena" MP3 Song Click on the Following Links
Download Link



No comments:

Post a Comment